යෝෂිත රාජපක්ෂ CID අත්අඩංගුවට

January 25, 2025


යෝෂිත රාජපක්ෂ අද (25) බෙලිඅත්තේදී CID අත්අඩංගුවට පත් විය. මැදමුලනට යන ගමන් අධිවේගී මාර්ගයේ දී ඔහු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේය. රත්මලාන, සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගිය 23වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.

මේවන විට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක්වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි.

මිහිඳු මාවතේ ඉඩම් නඩුව

රුපියල් ලක්ෂ 500කට ආසන්න වටිනාකමින් යුතු දෙහිවල මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ගේ නමට මිලට ගැනීම සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණේය.

අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතුවලට සහ දේපළ මිල දී ගැනීමේ කටයුතු සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එරෙහිව මෙම නඩුව ගොනු කළේය.

නඩුවට නිමිතිවන නෛතික සාක්ෂි පදනම කුමක් ද යන්න පිළිබඳව ඉතාම පැහැදිලි හෙළිදරව්වක් ඒෂියන් මිරර් වෙබ් අඩවිය 2016 වසරේ ජූනි 13 දා හෙළි කර තිබිණි. සිද්ධියේ ස්වරූපය තේරුම් ගැනීමට එම කතාව ඒ ලෙසම වාර්තා කිරීම දැනට ප්‍රමාණවත්ය.

පහත දැක්වෙන්නේ ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබූ කතාවය.

යෝෂිත රාජපක්ෂගේ ගල්කිස්සේ ඉඩම් නඩුව නීතියේ ඇසින් බැලීමේදී සිදුවී ඇත්තේ ඒවා පවතින නීතියට පටහැනිව සිදු කෙරුණු ක්‍රියාදාමයන් බවය. එලෙසටම අදාල ඉඩම් හිමිකරුවන් බලහත්කාරයෙන් පොළඹවා ගනිමින් සිදුකරන ලද ගණුදෙනුවක් බවය. ඒ සඳහා බලය හා නීතිය අයුතු ලෙස යොදාගනිමින් තහවුරු කළ නොහැකි අති විශාල මුදලක් භාවිත කරමින් තම මිත්තනියක වූ ඩේසි ෆීරියස් වික්‍රමසිංහ නැමති කාන්තාවත් දඩමීමා කරගනිමින් සිදුකරන ලද වංචනික ගණුදෙනුවක් බවය. ඒ සම්බන්ධව පැහැදිලි ලිඛිත සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

සැබෑ කතාව
ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් මෙම පාරම්පරික දේපල ගල්කිස්සේ මිහිඳු මාවතෙහි පිහිටා තිබේ. එකී දේපලට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සතුව තිබූ අයිතිය වර්ෂ 2015.10.12 වන දින වීරමන් නැමති ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු සහතික කරන ලද 3221 දරණ ඔප්පුව මගින් යෝෂිත රාජපක්ෂ මහතාට පවරා දී තිබේ.

නමුත් රාජපක්ෂවරුන්ගේ කීර්ති නාමය තහවුරු කිරීමට තරම් නොසරිලන ඉඩම් ප්‍රමාණයකින් යුතු වූ මෙම ඉඩම, විශාල කරගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට සහ එම පවුලේ අනෙක් අයට අවශ්‍යව පැවති බවත් ඒ අනුව මෙම කුප්‍රකට අනීතික ක්‍රියාව තම බලය යොදා ගනිමින් සිදුකර ඇති බවත් ඒ සඳහා තම මවගේ මුල් ඉඩම අසල පිහිටි අසල්වාසීන්ගේ ඉඩම් හොඳින් හෝ නරකින් මුල් ඉඩමට බද්ධ කිරීම සඳහා තම බලය හා මුදල් යෝෂිත රාජපක්ෂ මහතා යොදා ඇති බවත් මෙකී ගණුදෙනුව හොඳින් විශ්ලේෂණය කරන කල පෙනී ගොස් ඇත.

ඒ සඳහා මුල් ඉඩම අවට පිහිටි පුද්ගලික ඉඩම් අයිතිකරුවන්ට හිමිව තිබූ පර්චස් 12.4 ක්, පර්චස් 10 ක්, පර්චස් 02.6 ක් සහ දෙහිවල ගල්කිස්ස සමූපකාරයට හිමි පර්චස් 05 ක ඉඩම් ප්‍රමාණයක් ද මෙම අනීතික පවරා ගැනීමේ ක්‍රියාවලියට යටත් කොට තමන් වෙත ඈඳා ගැනීමට කටයුතු කර ඇති බවට පෙනී ගොස් ඇත.

ඉහත සඳහන් පර්චස් 27.1 ක් වූ ඉඩම් සඳහා වර්ෂ 1995 පහත සඳහන් පාර්ශවකරුවන් අතර ගල්කිස්ස දිසා අධිකරණයේදී බෙදුම් නඩුවක් පැවති බවට වාර්තා වේ. එකී බෙදුම් නඩුවේ අංකය වන්නේ 147/95/පී යන නඩුවයි. එම ඉඩම් නඩුවේ පාර්ශවකරුවන් වූයේ

01* ස්ටීවන් ප්‍රනාන්දු

02* අයිරින් ද සිල්වා

03* සිරිල් ප්‍රනාන්දු

04* හේමලතා රණවීර

05* මේබල් සුරවීර

06* පැට්ට්‍රික් ප්‍රනාන්දු

07* ඇසලින් ප්‍රනාන්දු

08* ඇඩ්මින් ප්‍රනාන්දු

09* වයලට් ප්‍රනාන්දු යන අයයි.

මෙකී අය අතර ඇතැම් අය අදාල ඉඩම්වලට හිමිකම් ඔප්පු පවතින පුද්ගලයන් වූ අතර ඇතැම් අය එම ඉඩම්වල හුදු භුක්තිකරුවන් පමණක් වූ බව වාර්තා වේ.

නීතිය වන වැදී
දැනට රටේ බලපවත්නා බෙදුම් නීතිය අනුව යම් ඉඩමක් බෙදීම සඳහා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලිස්පෙන්ඩනය නැමති ලේඛනයක් ලියාපදිංචි කරන අතර ඉන්පසුව එකී බෙදීමට යෝජිත ඉඩමේ අයිතිවාසිකම් නඩුවේ අවසාන තීන්දුවෙන් විනා වෙනත් ආකාරයකින් තුන්වන පාර්ශවයකට පැවරිය නොහැකි බව නීතියෙන් පිළිගත් කරුණකි. යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එකී සියලු පැවරීම් නිත්‍යානුකූල නොවන පැවරීම් ලෙස සැලකීමට ද අධිකරණය විසින් කටයුතු කරයි.

ඉහත සඳහන් බෙදුම් නඩුවේ නම් සඳහන් සියලු පාර්ශවකරුවන් සමග පළමුව ඩේසි ෆීරියස් වික්‍රමසිංහ පහත සඳහන් විකිණීමට එකඟ වීමේ ගිවිසුමට එළඹ තිබේ. එකී විකිණීමට එකඟ ගිවිසුම් ඉහත සඳහන් වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කොට ඇති අතර එකී විකිණීමට එකඟවූ ගිවිසුම් වන්නේ, අංක 3084, අංක 3085, අංක 3086, අංක 3087, අංක 3088, අංක 3089, අංක 3090, අංක 3091 හා අංක 3092 වේ.

බෙදුම් නඩුවක් අතරතුරදී ඔප්පුවක් අත්සන් කරයි
ඉන් අනතුරුව මුලින් සඳහන් කරන ලද පර්චස් 12.4, පර්චස් 10 සහ පර්චස් 2.6 ක් වන ඉඩම් සඳහා ඉහත සඳහන් වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් වර්ෂ 2013.05.03 දින සහතික කරන ලද අංක 3093 බෙදුම් ඔප්පුවක් සකස් කොට තිබේ. මෙයද ශ්‍රී ලංකාවේ මෙලෙස ප්‍රථමවරට සිදුවූ සුවිශේෂී නෛතික ක්‍රියාවක් වන අතර එකී බෙදුම් ඔප්පුව යටතේ ඉහත සඳහන් 147/95/පී නඩුවේ පාර්ශවකරුවන් අතර බෙදුම් නඩුවෙන් අවසානයේදී හිමිවන දේපල අයිතිවාසිකම් පිළිබඳ එකඟතාවක් මෙමගින් පාර්ශවකරුවන් අතර ඇති කොට ගෙන තිබේ.

යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාවලිය අවභාවිත වීම
ඉන් අනතුරුව ඉහත කී 147/95/පී නඩුවේ අතුරු තීන්දුවට එරෙහිව එකී නඩුවේ පාර්ශවකරුවන් කොටසක් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනා නඩුවක් සීඒ/938/97එෆ් යටතේ පවරා එම නඩුවේදී ඉහත කී බෙදුම් ඔප්පුව මත ඇති කරගත් එකඟතා මත අධිකරණමය සමතයක් පාර්ශවකරුවන් අතර ඇතිකරගෙන තිබුණි.

ඉන් අනතුරුව ඉහත නඩුවේ පාර්ශවයන්හට ඉහත කී ඩේසි ෆීරියස් වික්‍රමසිංහ විසින් පහත අගයක් ගන්නා වූ මුදල් ප්‍රතිශ්ඨාවක් ලෙස ගෙවා ඔප්පු හතරක් මගින් ඉහත කී පාර්ශවකරුවන්ගේ ඉඩම් අයිතිය ඩේසි ෆීරියස් වික්‍රමසිංහ වෙත පවරාගෙන තිබුණි. එකී විකුණුම් ඔප්පු වන්නේ ඉහත කී වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කරන ලද අංක 3107, අංක 3108 හා අංක 3109 දරණ ඔප්පු හා එම නොතාරිස්වරයාම වර්ෂ 2013.08.29 සහතික කරන ලද 3158 දරණ ඔප්පුව වේ. ඒ අනුව පහත සඳහන් ලෙස රුපියල් ලක්ෂ 495.2 ක මුදලක් ඉහත කී පාර්ශවකරුවන්හට ඩේසි ෆීරියස් වික්‍රමසිංහ විසින් ගෙවා ඇත.

01* ස්ටීවන් ප්‍රනාන්දු – ලක්ෂ 75

02* අයිරින් ද සිල්වා – ලක්ෂ 35.4

03* සිරිල් ප්‍රනාන්දු – ලක්ෂ 70

04* හේමලතා රණවීර – ලක්ෂ 60

05* මේබල් සුරවීර – ලක්ෂ 33.4

06* පැට්ට්‍රික් ප්‍රනාන්දු – ලක්ෂ 70

07* ඇසලින් ප්‍රනාන්දු – ලක්ෂ 25

08* ඇඩ්මින් ප්‍රනාන්දු – ලක්ෂ 15

09* වයලට් ප්‍රනාන්දු – ලක්ෂ 33.4

එකී ගණුදෙනුවෙන් අනතුරුව ඉහත කී පාර්ශවකරුවන් අතරින් හිමිකම් අයිතිවාසිකම් නොමැති නමුත් භුක්තියේ සිටි ඇතැම් පාර්ශවකරුවන් ලවා අයිතිය අත්හැරීමේ ඔප්පුවක් ඉහත කී වීරමන් නොතාරිස්වරයා ලවාම වර්ෂ 2013.03.06 වන දින සහතික කොට අංක 3106 යටතේ ලියාපදිංචි කොට තිබේ.

අවසාන විග්‍රහය
ඉහත සඳහන් වන්නේ රාජපක්ෂවරු රටේ ඉඩම් නීතියට තම බලය යොදවා නීතියේ කාර්ය පරිපාටිය ද යුක්තිය පසිඳලීමේ ආයතන ද දේපල අයිතිවාසිකම් දරණ පුද්ගලයන්ගේ දේපල දැරීමට ඇති අයිතියට ද බලපෑම් සිදුකළ ආකාරයයි.

ඉහතින් අප දක්වා සිටින්නේ ලංකාවේ මෙතෙක් කිසිවෙකු මෙතෙක් නොසිතූ ඉඩම් සම්බන්ධ නීතිය තම සිතැඟි පරිදි අයථා පරිහරණයට ලක් කිරීමට අදාල විශ්ලේෂණයකි. එසේම ඩේසිගේ මෙම වත්කම් ගණුදෙනුව තුළින් මතුවන අනෙක් කරුණවන්නේ යෝෂිත රාජපක්ෂ මහතාගේ 80 වියැති මිත්තණියට ( දැන් ඇයට වයස අවුරුදු 89යි) ඉහත සඳහන් ආකාරයේ රුපියල් ලක්ෂ 495.2 වියදම් කිරීම සඳහා වත්කම් ලැබුණේ කෙසේද යන්නයි. ඇය දැනට වාර්තාවී ඇති කරුණු අනුව ඇය කිසි දිනෙක ආදායම් බදු ගෙවා ඇති පුද්ගලයෙකු නොවන අතර තමන්ට කියා කිසිඳු හරිහමන් දේපලක් නොතිබුණු පුද්ගලයෙකු බවද වාර්තා වේ. ( උපුටාගැනීම නිමි)

ඩේසි ආච්චිගේ සුප්‍රසිද්ධ මැණික් මල්ලේ කටඋත්තරය –
කවදාවත් ආදායම් බදු ගෙවා නැති විශාල වත්කම් සම්බන්ධව කිසිම විශ්වාසනීය තොරතුරක් රහිත අතීතයක් සහිත ඩේසි ෆොරස්ට ලක්ෂ පන්සීයකට අධික තමන් නමින් ඇති වත්කම් පිළිබඳව අපරාධ මූල්‍ය විමර්ශන කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දිය යුතු බව 2017 සැප්තැම්බර් (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ලක්ෂ 500ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගැනීමට ඩේසි ගේ වත්කම් විමර්ශනය කිරීමට කටයුතු කෙරිනි.

ඒ අනුව ඇය අපරාධ මූල්‍ය විමර්ශන කොට්ඨාසයට පැමිණියාය. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය කීවේ නාඳුනන මුස්ලිම් මුදලාලි කෙනෙක් මැණික් පාර්සලයක් ගෙනත් දුන් බවය. ඉන් සුමාන තුනකට පමණ පසු නාඳුනන පුද්ගලයින් තුන් දෙනෙක් පැමිණ මුදල් මළු දෙකක් ලබා දී මැණික් පාර්සල රැගෙන ගිය බවය. එම මුදලින් ඉඩමත් ඉඩම මැද ගොඩනැගුණ සුඛෝපභෝගී මන්දිරයත් ඉදි කළ බව ඇය ප්‍රකාශ කළාය.

එවිට FCID නිලධාරීන් ප්‍රශ්න කර ඇත්තේ අදාල මුදල් සමන්විත වූයේ 2000 නෝට්ටුවලින්ද? 5000 නෝට්ටුවලින්ද ? යන්නය. ඩේසි ආච්චිගේ එක්වරම පැවසුවේ සියළුම මුදල් 5000 නෝට්ටුවලින් ලැබුණු බවය. විශේෂත්වය වන්නේ මේ ගනුදෙනුව සිදුවන විට රටේ 5000 නෝට්ටු මුද්‍රණය වී නොතිබීමය.

FCID නිලධාරීන් ආච්චි අම්මාට ඒ බව කීවේය. ඩේසි ආච්චි ලබා දුන්නේ අපූරු උත්තරයකි.

“නාකි මට 5000 කොලයි 2000 කොලයි එක පාර හඳුනාගන්න බෑ…”

දැන් මුණුබුරා අත් අඩංගුවේය.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව අද (25) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

රටේ මිනිස්සුන්ගේ බුද්ධියටත් අධිකරණයටත් නිගා කරමින් සිදුකළ බව කියන රාජපක්ෂ දුෂිත නඩයේ මේ අත්තනෝමතික ගනුදෙනු පිළිබඳ නිශ්චිත නඩු විභාගයන් සහිත ඉදිරි ක්‍රියාවලියක් දැන් මේ රටට අවශ්‍යය. මාලිමාව ලද ජනවරමේ අභිලාසය එයයි.